පොඩ්ඩගේ උපන් දිනේට කරන්න දේවල් 6ක්


අවුරුද්දකට සැරයක් යෙදෙන උපන්දින උත්සවය කියන්නේ පොඩි දරුවෝ ගොඩක් ආසාවෙන් බලන් ඉන්න දවසක්. ලැබෙන තෑගි නිසා දැනෙන සතුට ඇරුණම, මේ දවස ටිකක් වෙනස් විදියකට සමරන්න පුළුවන්නම් ඒක ඔවුන්ට අමතර සතුටක් එකතු කරයි. පොඩි දරුවන්ගේ විතරක් නෙමෙයි, ගෙදර වැඩිහිටියන්ගෙ උපන් දිනත් දරුවොත් එක්ක එකතු වෙලා වෙනස්ම විදියකට සමරන එක පවුලේ පුරුද්දක් කරගන්න. (තාත්තලාටත් පුළුවන් උපන් දින කුමරා විදිහට ඔටුන්නක් පලදින්න.😊) ලොකු වියදමක් දරන්නෙ නැතුව පවුලේ බැදීම ශක්තිමත් කරන ආදරණීය විදියකට උපන් දිනයක් සමරන්න කරන්න පුළුවන් හරිම සරල දේවල් ටිකක් තමයි මේ ලිපියෙ සාකච්ඡා කරලා තියෙන්නේ. 


☆ Birthday Box එකක් 


උපන් දිනය දවසට යොදාගන්න සැරසිලි වගේ දේවල් මිලදී ගන්න ලොකු මුදලක් වැය කරන්න අවශ්‍ය නැහැ. පවුලේ අයගේ උපන් දින වලදී අවශ්‍ය වන සැරසිලි වගේ දේවල් birthday box එකක තැන්පත් කර තැබීමෙන් ඒ දේවල් නැවත නැවත මිලදී ගන්න යන වියදම ඉතුරු කරගන්න පුළුවන්. 


☆ උපන් දින කතන්දරයක් 


උපන් දිනය දවසට කලින් දවසේදී පහුවදා යෙදෙන දරුවගේ උපන් දිනය ගැන එයාව උද්යෝගිමත් කරන්න. කලින් දවසේ රාත්‍රියේ දරුවා නිදි කරන්න වෙලාවට  දරුවට උපන් දිනය ගැන කතාවක් ගොතලා කියන්න. පොඩිත්තෝ ගොඩක් ආසයි එයාල ගැන කියන කතා අහන්න. ඉතින් එයාල මේ ලෝකෙට එනකන් අම්මාය තාත්තායි කොච්චර ආසාවෙන් බලාගෙන හිටියාද, එයාල මේ ලෝකෙට ආව දවසේ අම්මා තාත්තා දෙන්නා කොච්චර සතුටු වුනාද වගේ දේවල් නිර්මාණශීලී විදිහට මේ කතාවට එකතු කරන්න. මේක සුරංගනා කතාවක් වුනත් කමක් නැහැ. හරියට "මූදු පතුල යට ඉදලා" ගීතයේ කියනවා වගේ. 😊


☆ විශේෂ උපන් දින මේසයක් 


මේ විශේෂ උපන් දින මේසය ඔයාලට පුලුවන් කලින් දවසේ රාත්‍රියේ දරුවා නින්දට ගියාට පස්සෙ සකස් කරල තියන්න.  දරුවගේ උදෑසන කෑම මේසය තමයි අපි මේ විදිහට විශේෂිත ආකාරයකට සකස් කර ගන්නේ. පොඩි කේක් එකක්, දරුවා කැමති රසකැවිලි කීපයක්, දරුවාගේ වයසට සමාන ඉටිපන්දම් සංඛ්‍යාවක්, පවුලේ අය අතින්ම සැකසූ උපන් දින සුභ පැතුම් පත්, ගත වුන වසරේ දරුවගේ විශේෂිත අවස්ථා ඇත්නම් ඒවා සිහි කරවන ඡායාරූප වගේ දේවල් මේ මේසෙට ඇතුළත් කරන්න. 

උපන් දිනයට අදාල වැකි හෝ රූප ඇතුළත් වර්ණවත් මේස රෙද්දක් මේ මේසෙට වැඩි ලස්සනක් එකතු කරයි. උපන් දින වලදී විතරක් පාවිච්චි කරන මේ වගේ මේස රෙද්දක් ඔයාලට පුලුවන් අර කලින් කියපු birthday box එකේ දාල තියාගන්න. 

උපන් දිනය යෙදිලා තියෙන්නෙ ඔයාලා ටිකක් කාර්ය බහුල දවසකනම් උදෑසන කෑම මේසය වෙනුවට දරුවගේ උදෑසන කිරි එකත් එක්ක කේක් එකක්, ඉටිපන්දම් වගේ දේවල් එක්ක සරසාගත්ත ලොකු ට්‍රේ එකක් පොඩ්ඩා අවදි වෙන වෙලාවෙදි ඇද ලගට ගෙනිච්චොත් එයා ගොඩක් පුදුම වෙයි. 


☆ උපන් දින සුභ පැතුම් පත් 


කුඩා දරුවන්ගේ විතරක් නෙමෙයි ගෙදර අනිත් අයගෙත් උපන් දිනය වඩා  අර්ථවත් කරන්න පුළුවන් විදියක් තමයි උපන් දින සුභ පැතුම් පත්. හැබැයි මේ කියන්න යන්නෙ වෙළඳපොලේ තියන ගොඩක් මිල අධික විසිතුරු උපන් දින සුභ පැතුම් පත් ගැන නම් නෙමෙයි. පවුලේ අයගේ අතින්ම හදපු සරල සුභ පැතුම් පතක් ඊට වඩා ගොඩක් සමීප බවක් එකතු කරනවා. අපිට පුළුවන් මේ කාඩ් පතේ එයත් එක්ක බැදුනු ආදරණිය සිදුවීමක්, එයා ගැන තියෙන ආදරය පෙන්වන විදයේ වැකි කීපයක් ඇතුලත් කරන්න. මේ තුලින් පවුලේ බැදීම වඩා ශක්තිමත් කරනවා. ඒ වගේ කාඩ් පතක් ඕනම කෙනෙක් මුලු ජීවිත කාලයක්ම ආදරෙන් පරිස්සම් කරල තියා ගනීවි.


☆ සැගවුණු තෑගි සෙවීම 


පවුලේ අයගෙන් ලැබෙන උපන් දින තෑගි එක සැරේම දෙන්නෙ නැතුව පොඩි වෙනසක් කරමු. උපන් දින තෑග්ග ගෙදර යම් කිසි තැනක සගවලා ඒක හොයාගන්න උදව් වෙන විදියේ ඉගියක් උපන් දින සුභ පැතුම් පතත් එක්ක ලබා දෙන්න. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. උපන්දින තෑග්ග අපි රෙදි හෝදන මැෂින් එක පිටිපස්සෙන් හංගලා, මෙහෙම ලියපු කොලයක් උපන් දින කාඩ් පතට අමුණන්න. "හෝදපු ඇදුම් හරි පිරිසිඳුයි, හරි සුවදයි". දරුවගේ වයස අනුව ලබා දෙන ඉගියේ පහසු අපහසු බව තීරණය කරන්න පුළුවන්. පවුලේ අනිත් අයගේ උපන් දිනයටත් මේ වගේ game එකක් කරන්න දරුවන්වත් හවුල් කර ගන්න. 


☆ උපන් දින සාදයක් 


සමහර දෙමාපියන් උපන් දින සාද පවත්වන්නේ දරුවන්ගේ සතුටට වඩා විලාසිතාවක් විදිහට සලකලයි. ටිකක් විශාල ප්‍රමාණයෙන් පවත්වන මේ වගේ උපන් දින සාදයක් ඇත්තටම දරුවා තුල ඇති කරන්නේ සතුටක්ද, වෙහෙසක්ද කියන එකනම් මුලින් හොයා බැලීම වටිනවා. කොහොම වුණත් දරුවාට වඩාත් සමීප කීප දෙනෙක් පමණක් සහභාගී කරගෙන දරුවාගේ සතුටට මුල් තැන දීලා සරල විදිහට උපන් දින සාදයක් පවත්වන්නත් පුළුවන්. ඒවගේ සරල උපන් දින සාදයක් සැලසුම් කරගන්නේ කොහොමද කියලා අපේ කලින් ලිපිය මෙතනින් බලන්න පුලුවන්. මේ වගේ ලිපි දිගටම ඔයාලගේ news feed එකෙන් කියවන්න අපේ page එකටත් like කරන්න ආරාධනා කරනවා. ❤


Comments

Popular posts from this blog

බබාගේ උපන්දින සාදය සැලසුම් කරමු

දරුවා නිදාගන්න රටාව පවත්වා ගන්න සරල උපදෙස් ටිකක්