බබාගේ උපන්දින සාදය සැලසුම් කරමු

ඔයාගේ සිඟිත්තාගේ උපන්දිනය දවස සුවිශේෂී එකක් කරන්න සහ පවුලේ බැදීම තවත් ශක්තිමත් කරන්න අපිට කරන්න පුළුවන් දේවල් අපි පහුගිය ලිපියෙන් සාකච්ඡා කරලා තියෙනවා. උපන්දිනය දවසේ කරන්න පුළුවන් තවත් දෙයක් තමයි උපන්දින සාදයක් පවත්වන එක.

කුඩා දරුවෙක්ගේ උපන්දින උත්සවයක් සූදානම් කරනකොට හිතන්න ඕන ප්‍රධානම දේ තමයි දරුවාගේ සතුට. දරුවා වෙහෙසට පත් නොවන විදියට හරිම සරල උපන්දින සාදයක් ගෙදරදීම සැලසුම් කරද්දී සලකා බලන්න ඕන දේවල් ටිකක් තමයි මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ. මේ වගේ සරල විදියට උපන්දින සාදයක් පවත්වන එකේ තවත් වාසියක් තමයි උපන්දින සාදයේ සංවිධාන කටයුතු වලට පොඩ්ඩගෙන් වැඩි දායකත්වයක් ලබා ගන්න පුළුවන් වෙන එක. 


☆ ආරාධනා පත් 


ආරාධනා කරන්නේ කීහිප දෙනෙකුට විතරක්නම් ආරාධනා පත් වැඩි ගානක් හදන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිසා ගෙදරදීම පොඩ්ඩගෙන් උදව්වෙන් ඒ ටික හදාගන්න පුළුවන්. එයාගෙ අතින්ම ඇදපු සරල චිත්‍රයක් ඒකට එකතු කරන්න පුළුවන්. තීන්ත වලින් තියාගත්ත දරුවගේ අත් සටහනකුත් හොද අදහසක්. 🖐


☆ කාල පරාසය 


ගොඩක් කුඩා දරුවෙක් නම් ඉක්මනට වෙහෙසට පත් වෙන නිසා පැය එක හමාරක් දෙකක් වගේ ටිකක් කෙටි වෙලාවකට සැලසුම් කරන්න. දරුවන් වෙහෙසට පත් වුණාම ටිකක් කේන්ති යනවා. එතකොට අමුත්තන් ඉදිරිපිට ඔයාල අපහසුතාවයට පත් වේවි. දරුවා වයසින් වැඩෙනවත් එක්ක වෙලාව වැඩි කරන්න පුළුවන්. 


☆ සිහිවටන 


සාදයට සහභාගී වන අනිත් පොඩිත්තන්ටත් සිහිවටනයක් දෙන්න අමතක කරන්න එපා. කුඩා කඩදාසි බෑග් ටිකක් මේකට යොදාගන්න පුළුවන්.  පොඩ්ඩො ආස විදිහේ, හැබැයි හැකි තරම් ස්වභාවික රසකැවිලි (කෘතිම රසකාරක, වර්ණ කාරක හෝ කල්තියාගන්න රසායන ද්‍රව්‍ය වලින් තොර), කුඩා සිහිවටනයක් (විසිතුරු පැන්සලක්, පොඩ්ඩො ආස විදිහේ වීදුරු බෝල වගේ පුංචි දෙයක්) මේකට එකතු කරගන්න පුලුවන්. 

මේ දේවල් වලට දරුවගේ උදව් ගන්න ගමන් ස්වභාවිකත්වයට දරුවව හුරු කරන්න. උදාහරණයක් විදියට ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල් වෙනුවට ලී, කඩදාසි වගේ දිරාපත් වන දේවල් භාවිතා කිරීමේ වාසි,  කෘතිම රස කාරක, වර්ණ කාරක හෝ කල්තියා ගන්න ද්‍රව්‍ය අඩංගු කෘතිම කෑම බීම වෙනුවට ස්වභාවික එලවලු පලතුරු ආහාරයට ගැනීමේ වාසි දරුවාට හෙමින් පැහැදිලි කර දෙන්න. 


☆ ආරාධිතයන් සංඛ්‍යාව 


කලිනුත් සදහන් කල විදිහට ආරධිතයන් සංඛ්‍යාව හරිම පරිස්සමින් තීරණය කරන්න ඕන. සාදය කම්මැලි තැනක් නොවන්න නම් ආරාධිතයන් ගණන ටිකක් ටිකක් වැඩි වෙන්න ඕන. හැබැයි මේ ගණන අනවශ්‍ය විදියට වැඩි වුණොත් දරුවා වගේම ඔබත් වෙහෙසට පත් වෙනවා වගේම අවිවේකී වෙනවා. ඒ නිසා මේ කරුණු දෙකම සමතුලිත වෙන විදියට ආරාධිතයන් ගණන තීරණය කරන්න. 


☆ කෑම බීම


මිනි පීට්සා ( ගෙදරම හදාගන්න උත්සාහ කරන්න), කප් කේක්,  පලතුරු කෙබාබ් ( විවිද පලතුරු හතරැස් කොටු විදිහට කපලා stick එකක දවට ගන්න), පොප් කෝන්, එලවලු තීරු, ස්වභාවික අල පෙති, ස්වභාවික පලතුරු බීම වගේ වැඩි වෙහෙසකින් තොරව හදාගන්න පුළුවන් විදියේ කෑම බීම තෝරා ගන්න. 

පලතුරු කෙබාබ්


☆ උපන්දින කේක් එක 


උපන් දින කේක් එකත් දවසේ සුවිශේෂී අංගයක්. ගොඩක් දෙනෙක් දරුවා ආස කරන කාටූන් චරිතයක් හෝ ඒ වගේ දේක හැඩයට කේක් එක සාදවා ගන්නවා. කොහොම වුණත් ඔයාට කාලය හොයාගන්න පුළුවන් නම් පොඩ්ඩොත් එකතු කරගෙන ඔයාගේ අතින්ම කේක් එක හදලා සරසගන්න පුළුවන්නම් එයාලා ගොඩක් සතුටු වෙයි. 


☆ සරල විනෝද ක්‍රීඩා 


කෑම බීම වලට පස්සෙ පොඩ්ඩොන්ට විනෝද වෙන්නත් පොඩි වෙලාවක් හදල දෙන්න. පොඩ්ඩන්ගේ වයස් මට්ටම අනුව තෝරා ගත්ත විනෝද ක්‍රීඩා කීපයකුත් සැලසුම් කරලා තියන්න. උපන්දින සාදයක උද්යෝගිමත් බව වැඩි කරන්න පුළුවන් විනෝද ක්‍රීඩා කීපයක් ගැන අපගේ මීලග ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 


ලොකු වියදමක් මහන්සියක් නැතුව පොඩ්ඩො සතුටින් තියන්න කරන්න පුළුවන් දේවල් අපේ ලිපි වලින් හැමදාම සාකච්ඡා කරනවා. ඒ වගේ ලිපි හැමදාම ඔයාලගේ news feed එකට ගෙන්වා ගන්න අපේ page එකට like කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ❤

 


Comments

Popular posts from this blog

පොඩ්ඩගේ උපන් දිනේට කරන්න දේවල් 6ක්

දරුවා නිදාගන්න රටාව පවත්වා ගන්න සරල උපදෙස් ටිකක්