දරුවා නිදාගන්න රටාව පවත්වා ගන්න සරල උපදෙස් ටිකක්
දරුවාගේ දවස රටාවකට අනුව ගොඩනැගිය යුත්තේ ඇයි?
අපිට වගේ දරුවන්ට කාලය පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. වෙලාව දවල් දොළහයි, විනාඩි දහයයි, දවස් දෙකයි, සදුදා, ඉරිදා වගේ දේවල් කිව්වාට එයාලට තේරුම් ගන්න බැහැ. එයාල දවස තේරුම් ගන්නෙ දවසේ ක්‍රියාකාරකම් එක්ක එන රිද්මයත් එක්ක. හරියට උදේට කන වෙලාව, සෙල්ලම් කරන වෙලාව, නිදාගන්න වෙලාව වගේ දේවල් වලින්. ඒක නිසා දවසේ ක්‍රියාකාරකම් රටාවකට හැඩගස්වා ගැනීමෙන් දරුවා තුළ සුරක්ෂිත බවක්, ඔවුන්ව රැක බලා ගන්න බවක් සහ සතුටක් ඇතිවෙනවා වගේම කාලය පිලිබඳ හැගීමකුත් ඇති වෙනවා. ඔවුන් දන්නවා ඔවුන් ලබන හැම අත්දැකීමක්ම ඔවුන්ට නැවත නැවතත් ලැබෙන බව.
කොහොම වුනත් මේ රටාව නීතියන්නම් නොවිය යුතුයි. එය දවසේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සුවිශේෂී විධියකට සිදුකිරීමක් විතරයි. මේ ලිපියෙන් මම සාකච්ඡා කරන්නේ සාමාන්‍ය දවසක දරුවා අවදි වෙන සහ නිදාගන්න වෙලාව සුවිශේෂී කරන්න අපිට කරන්න පුළුවන් පොඩි දේවල් කීපයක්. දෙමාපියන් ගොඩක් කාර්යබහුල වුවත් මේ සරල ක්‍රියාකාරකම් අත්හදා බලන්න වැය වෙන්නෙ විනාඩි කිහිපයක් විතරයි.
දරුවන් අවදිවන වෙලාවට
☆ පුලුවන් හැම වෙලාවෙම දරුවා තනියම අවදි වනතුරු ඉවසන්න. අවශ්‍ය තරම් නින්ද ලබාගෙන, සෙමෙන් දෑස් හැර අලුත් දවස අරඹන්න ඔහුට ඉඩ දෙන්න.
☆ කාර්යබහුල දවසක් නෙවෙයි නම්, දරුවා සුරතල් කරමින් ටික වෙලාවක් දරුවා සමග ඇදේම ගත කරන්න. මේ වෙලාවට butterfly kisses ( ඔබේ ඇස් පිහාටු වලින් දරුවාගේ සිනිදු කම්මුල් පිරිමදින්න), දරුවා සමග කතා කිරීම කරන්න පුළුවන්.
☆ කාර්යබහුල දවසක් වුනත් තත්පර කිහිපයක් හරි දරුවා ආදරෙන් අතගෑමෙන්, කතා කිරීමෙන් දවසම දරුවාගෙන් ඈත් වෙන්න වුනත් දවස අරබද්දීම ඒ ගොඩනගාගත් සබඳතාවය නිසා ඔබට තෘප්තිමත් වෙන්න පුලුවන්.
☆ උදෑසන හිරු එළියට තිර රෙදි විවෘත කරන අතර ඔබ විසින්ම නිර්මාණය කරපු ගීතයක් ගායනා කරන්න පුළුවන්. මේ ගීතයට දරුවාගේ, ඔහු දවස ගත කරන තවත් කීප දෙනෙක්ගේ (ආච්චි, සීයා, සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන්) නම් සහ ඔවුන් දවසේ සිදු කරන ක්‍රියාකාරකම් කිහිපයක් ඇතුළත් කරන්න පුළුවන්. (ගොඩක් ලස්සන ගීතයක් වෙන්නම ඕන නැහැ 😊)
දරුවා නින්දට යන වෙලාවට
☆ නිදා ගන්න වෙලාව රටාවකට හුරු කර ගන්න එක දරුවන්ගේ වර්ධනයට හරිම වැදගත්. ඒ වගේම මේ වෙලාවට ඉලෙක්ට්‍රොනික් උපකරණ (ජංගම දුරකතන, රූපවාහිනී, පරිඝණක ක්‍රීඩා) ඈත් කරන එකත් හරි වැදගත්.
☆ අපි මුලින්ම බලමු කොහොමද දරුවා බැහැ කියන්නේ නැතුව දත් මදින්න bathroom එකට එක්කගෙන යන්නේ කියලා. තාත්තාගේ උරහිස මත හිඳගෙන යන්න නම් ගොඩක් දරුවො සතුටු වෙයි. තවත් විදියක් තමයි අම්මගේ හරි තාත්තාගේ හරි කකුල් මත හිටගෙන යාම. ( අම්මාගේ/තාත්තාගේ දිහාවට මුහුණලා ඔවුන්ගේ කකුල් දෙක බදාගෙන ඔවුන්ගේ කකුල් දෙක මත දරුවා සිටගෙන සිටින විට අම්මා/තාත්තාට ඇවිදගෙන යන්න පුළුවන්).
☆ දත් මදින්නට දරුවා උනන්දු කරන්නත් අපට මේ වගේම නිර්මාණශීලී ක්‍රියාකාරකම් භාවිතා කරන්න පුළුවන්. හැම දරුවෙකුම හරිම egocentric, එහෙමත් නැත්තම් එයාල ගැන කතා කරනවට හරිම ආසයි. ඒ නිසා එයාල දවසේ සිදු කරපු ක්‍රියාකාරකම් ඇසුරින් කථාවක් හදල කිව්වොත් එයාල ගොඩක් සතුටු වෙයි. අපිට පුළුවන් මේකට එයාල දවසේ කාපු කෑම බීම අදාල කරන්න. මේ දත අද චොකලට් කෑව, මේ දත අද ගොඩක් බත් කෑවා, මේ දත අද මල්ලි බබා එක්ක ගොඩක් හිනාවුණා වගේ දේවල්. මේකෙන් දත් මදින එක දරුවට සතුටක් ගෙන දෙනව වගේම දවසේ සිදු කරපු ක්‍රියාකාරකම් ගැන නැවත මතක් කිරීමත් දරුවට සතුටක් ගෙන දෙනව.
☆ දරුවා පාසල් යන වයසේනම් ඔහුගේ දවසේ ක්‍රියාකාරකම් guess කරන game එකක් කරන්නත් පුලුවන්.
☆ දරුවා නාන කාමරයේ සිට ඇදට ගෙනියන්නත් කලින් කිව්වා වගේම නිර්මාණශීලී ක්‍රමයක් භාවිතා කරන්න පුලුවන්. හැබැයි මෙතනදි දරුවා අනවශ්‍ය විදියට උද්යෝගිමත් නොකරන්න වගබලා ගන්න ඕන. නැත්තම් දරුවා නිදි කරන්න අමාරු වෙන්න පුළුවන්.
☆ නිදා ගන්න වෙලාව බවට සංඥාවක් විදිහට කාමරයේ ඇති දේවල් කිහිපයකට good night කියලා අපිට දරුවා නිදි කරන්න පටන් ගන්න පුළුවන්.
☆ දෙමාපියො මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තමයි, ලස්සන වුනත් නැතත් දරුවො හරිම කැමතියි දෙමාපියන් ගායනා කරනවා අහන්න. ඒ නිසා record කරපු ගීතයකට වඩා ඔබම ගායනා කරන ගීතයක් දරුවාට වඩාත් සමීප වේවි.
☆ ගායනා කරන ගීත තෝර ගනිද්දී අපිට පුළුවන් දරුවගේ පෞද්ගලික රුචිකත්වය ගැන හොයල බලන්න. උදාහරණයක් විදිහට කෝච්චි වලට ආස දරුවෙක් නම් ඒ පිළිබඳ ගීත ගායනා කරන්න පුළුවන්. සතුන්ට ආස දරුවෙක් නම් සතුන් පිලිබඳ ගීත ගායනා කරන්න පුළුවන්.
☆ ගායනා කරන ගීතයක් වලට අදාල රූප ඔබේ ඇගිලි තුඩු වලින් දරුවාගේ පිටේ අඳින්නත් පුළුවන්. දරුවා තුළ සතුට දැනවීමට ස්පර්ශයත් ලොකු උදව්වක් වෙනවා.
☆ දවස තිස්සෙම දරුවාට ආදරෙන් සමීප වුන අය ( ආච්චි, සීයා, ගුරුවරුන්, යහලු යෙහෙළියන්) ගැන, තමන්ට ආදරය කිරීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වන එහෙමත් නැත්තම් තමන්ට ලැබිලා තිබෙනවා දේවල් වලට ස්තුති වන්ත වන thank you song එකක් දරුවට ගැලපෙන විදියට ඔබටම නිර්මාණය කරලා ගායනා කරන්න පුළුවන්.
☆ රෑට lights off කරන්න විරුද්ධ වෙන දරුවෙක් නම් ඉටිපන්දම් හෝ lampshade එකක් සමනලුන්, තරු, මල් වගේ හැඩ තල කැපූ කඩදාසියකින් ආවරණය කරල සෙවනැලි රටා මවල දරුවා කැමැත්තෙන්ම lights off කරන්න හුරු කරන්න පුළුවන්.
☆ දරුවන් ටිකක් ලොකු වුනාම ඔවුන්ට නින්ද යන තුරුම ලග ඉන්න අවශ්‍ය නැහැ. මේ සදහා හුරු කරද්දී මුලින්ම ඔබ ඉක්මනින් නැවත පැමිණෙන බවට පොරොන්දු වී විනාඩි කිහිපයක් ඉවත්ව සිටින්න. "අම්මා තේ එකක් හදාගෙන ඉක්මනට එනවා පුතා නිදිද බලන්න" වගේ පොරොන්දුවක් දෙන්න පුළුවන්.
☆ දරුවා ටිකක් තේරෙන වයසක් ආවම අපට පුළුවන් ඔවුන්ට තේරුම් කරල දෙන්න දැන් අම්මට නිදි මතයි, දැන් අම්මගේ නිදාගන්න වෙලාව වගේ දේවල්. එතකොට ඔවුන්ට සතුටින් නිදාගන්න උණුසුම් හාදුවක්, good night!, I love you! වගේ ආදරණීය වචනයක් ප්‍රමාණවත්.
Comments
Post a Comment