දෙමාපියන් පාසලෙන් ඈත් කරන්න හේතු වෙන වැරදි වැටහීම්
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලදී දෙමාපිය මැදිහත් වීම ගැන ලොව පුරාම ඇත්තේ ඉතාම ධනාත්මක මතයක්. දෙමාපිය මැදිහත් වීම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ගුණාත්මක බව ඉහළට ඔසවා තැබීමට හේතු වන බව ලොව පුරා විවිධ සමීක්ෂණ වලින් සනාථ කර තියෙනවා පමණක් නොව වඩා ඵලදායී පාසල් ලෙස සලකනු ලබන්නේද දෙමාපිය දායකත්වය උපයෝගී කරගන්නා සහ දිරි ගන්වන පාසලයි.
දෙමාපිය මැදිහත් වීම දරුවන්ගේ දැනුම හා ප්‍රතිඵල වර්ධනයට මෙන්ම ඔවුන්ගේ හැසිරීම හා ආකල්ප වල ගුණාත්මක බව වැඩි කිරීමටත් ඉවහල් වෙනවා. මෙම දරුවන්ගේ පාසල් පැමිණීම ඉහළ අගයක් ගන්නා අතරම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයද යහපත් බව තහවුරු කර තියෙනවා.
මීට අමතරව ශක්තිමත් ගුරු දෙගුරු සබඳතාවන් ගුරුවරුන්තුළ අභිප්‍රේරණයක්ද ඇති කරනවා. දෙමාපියන් තුළද ආත්ම තෘප්තිය, පෞරුෂ වර්ධනය මෙන්ම නව දැනුමක්ද එකතු වෙනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන් ලබාගන්නා අත්දැකීම් වලදී දෙමාපියන්හට දායක විය හැකි අතර එය ආකාර දෙකකින් විස්තර කල හැකිය. එනම් නිවස පදනම් කරගත් සහ පාසල පදනම් කරගත් ලෙසයි.
පාසලෙන් ලබා දෙන ගෙදර වැඩ අධීක්ෂණය, දරුවන්ගේ කියවීමේ අභ්‍යාස වලට සවන් දීම වැනි ක්‍රියාකාරකම් නිවස පදනම් කරගෙන සිදු කල හැකි අතර ගුරු දෙගුරු රැස්වීම් වලදී ක්‍රියාකාරී සහභාගිත්වය, පාසල පදනම් කරගත් විවිධ වැඩසටහන් වලට සහභාගී වීම වැනි ක්‍රියාකාරකම් තුළින් පාසල තුළදීම දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු වලට දායක වීමට දෙමාපියන් හට හැකියාව තිබෙනවා.
අපේ සාම්ප්‍රදායික පාසල් ව්‍යූහය සලකා බැලුවොත් දරුවන්ගේ අධ්‍යාපනයට ධනාත්මක බලපෑමක් ඇති කරන පරිදි දරුවන්ගේ දායකත්වය ලබාගැනීමේ කිසිම සැලසුමක් ඇති බවක් නම් පෙනෙන්නට නැහැ. වර්ථමාන පාසල් දෙමාපිය සහය ලබාගන්නේ පාසල අලුත්වැඩියා කටයුතු, තීන්ත ගෑම, ආධාර එකතු කිරීම, පාසල මුර කිරීම වගේ හරිම භෞතික සහ කෙටි කාලීන අවශ්‍යතාවයන් සඳහා විතරයි. නමුත් දරුවන් පිලිබඳ දෙමාපියන් සහ ගුරුවරුන් අතර ගැඹුරු සාකච්ඡාවක් ඇතිවීමට ඉඩක් නැති තරම්.
මෙම ලිපියේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ගුරු දෙගුරු සබඳතා වන් දුර්වල කරන්න හේතු වන වැරදි වැටහීම් කීපයක් ගැන.
ගුරුවරුන් තුළ ඇති වැරදි වැටහීම්
මුලින්ම අපි ගුරුවරුන්ගේ පාර්ශවයෙන් හටගන්න පුලුවන් බාධක, එහෙමත් නැත්තම් වැරදි වැටහීම් ගැන සලකා බලමු. එකක් තමයි ගුරුවරුන් ගොඩක් වෙලාවට දෙමාපිය මැදිහත් වීම් දකින්නේ අනවශ්‍ය ආතතියක් විධියට. දෙමාපියන් ප්‍රශ්න ඇතිකරගන්නා එහෙමත් නැත්තම් කරදරකාරයන් විදිහට ඔවුන් සලකනවා. දරුවන්ගේ ඉදිරි විෂය ධාරාව තෝරා ගැනීම, බාහිර ක්‍රියාකාරකම් තෝරා ගැනීම වැනි අවස්ථා වලදී මේ තත්වය දරුණු විදියට දකින්න පුලුවන්. මෙහිදී දරුවන් පිලිබඳ ගුරුවරුන්ගේ තක්සේරුවට වඩා දෙමාපියන්ගේ තක්සේරුව ඉහළයි. මේකෙ අනිත් පැත්ත තමයි සමහර ගුරුවරුන් දරුවන්ගේ සමහර දුර්වලතා ගැන දෙමාපියන් ඇත්ත වසන් කිරීම. ගොඩක් වෙලාවට දෙමාපියන්ගේ හිත රිද්දන්න ඇති නොකැමැත්ත නිසා මෙහෙම කලත් මෙයින් දරුවන්ගේ අධ්‍යාපනයට හානියක් වෙනවා වගේම දෙමාපියන් තුළ දරුවා ගැන ඇති වන අධිතක්සේරුව නිසා දෙමාපිය සහය ඵලදායීව යොදා ගන්නත් බැරි වෙනවා. ගුරුවරුන්තුළ තියෙන තවත් වැරදි මතයක් තමයි, දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් කිරීමට දෙමාපියන් තුළ ඇති හැකියාව අවතක්සේරු කිරීම. ගුරුවරුන් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් වෙනවා වගේම දෙමාපියන් තම දරුවන් පිලිබඳ විශේෂඥයන් බව ඔවුන් අමතක කරනවා. ඒ වගේම දරුවන් පෙන්වන ඇතැම් වෙනස් චර්යාවන් නිසා දෙමාපියන් හට චෝදනා කිරීමටත් සමහර ගුරුවරුන් පෙළඹෙනවා. මේ සියලු වැරදි වැටහීම් වල අවසාන ප්‍රතිඵලය වෙන්නේ ගුරුවරුන් සහ දෙමාපියන් තව තවත් දුරස් වීම විතරයි. ඒ වගේම ගුරුවරුන් සහ දෙමාපියන් අතර වෘත්තීය දුරස්ථභාවයක් තිබිය යුතුයි කියලත් ගොඩක් දෙනෙක් හිතනවා.
දෙමාපිය පාර්ශවයෙන් ඇති වන බාධක මොනවාද?
ප්‍රධානම දේ තමයි ගොඩක් දෙමාපියන් හිතනවා අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන්ට ඇති එකම වගකීම දරුවා නිසි පිලිවෙලට පාසලට ගෙන ඒම සහ ගෙන යාම විතරයි කියලා. ඒ වගේම තවත් සමහරු හිතනවා දරුවන්ගේ අධ්‍යාපනයට දායක වෙන්න ඔවුන් සතු දැනුම ප්‍රමානවත් නැහැ කියලා. අවාසනාවට ඔවුන් තේරුම් නොගන්න දේ තමයි මේ සදහා ලොකු සුදුසුකම් අනවශ්‍ය බව. දෙමාපියන් තුළ ඇති තවත් වැරදි මතයක් තමයි දරුවන්ගේ දක්ෂතා සහ බුද්ධිය උපතින්ම ලැබෙන දෙයක් සහ එය වර්ධනයට දෙමාපියන් සතු හැකියාව අල්පයි හෝ නොහැකි බව. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන කාලය ඔවුන් දකින්නේ නාස්තියක් විධියට.
දෙමාපියන් හා ගුරුවරුන් අතර සබඳතාව දුර්වල කරන්න මේ වැරදි වැටහීම් ඇරුණම දෙමාපියන් හට ඇති විවිධ අපහසුතාවයනුත් හේතු වෙන්න පුළුවන්. උදාහරණ විදියට ආර්ථික ප්‍රශ්න, මව පියා යන දෙදෙනාම රැකියා වල නිරත වීම, කුඩා දරුවන් හෝ වයස් ගත දෙමාපියන් බලාගැනීමට ඇති නිසා අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මිඩංගු කල හැකි කාලය සීමිත වීම පෙන්වා දිය හැකියි. ඒ වගේම දෙමාපියන්ගේ අධ්‍යාපන මට්ටම, අධ්‍යාපනයේ ඇති වටිනාකම පිලිබඳ දෙමාපියන් තුළ ඇති අවතක්සේරුව වැනි කරුණු නිසාත් මේ දුරස්ථ භාවය ඇති වෙන්න පුලුවන්.
ගුරුවරුන් දෙමාපියන් යන දෙපාර්ශ්වයෙන් වගේම දරුවන් මත පදනම් වූ ඇතැම් සාධකත් මේ දුරස්ථ භාවය ඇති කරන්න හේතු වෙනවා. ප්‍රාථමික පන්ති වල දරුවන් දෙමාපියන් පාසලට පැමිණීම ඉතා ආශාවෙන් අපේක්ෂා කලත් වැඩි විය පත් දරුවන් තුළ ඇතිවන ස්වාධීන මානසිකත්වය නිසා ඔවුන් තුළ දෙමාපිය මැදිහත් වීම පිළිබඳ තිබෙන්නේ හරිම සෘණාත්මක බවක්.
කොහොම වුනත්, මේ හැම දෙයක්ම සලකා බැලුවම අපට තේරැම්ගන්න පුළුවන් දරුවන් සමග ගණුදෙනු කරන්න අවශ්‍ය කුසලතා වගේම දෙමාපියන් සමග ගණුදෙනු කරන්න අවශ්‍ය කුසලතාත් ගුරුවරුන්ට කොයි තරම් වැදගත්ද කියලා.
Comments
Post a Comment