දරුවා කෑම මේසෙට ගෙන්න ගන්න මැජික් ටිකක්



කෑම වෙලාව කියන්නේ හරිම සුවිශේෂී වෙලාවක්. ඔවු, කෑම ගොඩක් වැදගත් තමයි. ඒ වගේම තවත් වටිනාකම් ගොඩක් අපේ ජීවිතයට එකතු කර ගන්න මේ වෙලාව යොදා ගන්න පුළුවන්. ඉතින් අපේ පවුලේ බැදීම තවත් ශක්තිමත් කරගන්න, එකිනෙකා අතර සබඳතාවය ගොඩනගා ගන්න, පවුල තුළ අවශ්‍ය සන්නිවේදනය ඇති කරන්න කොහොමද අපේ කෑම වෙලාව යොදා ගන්නෙ කියලා තමයි මම මේ ලිපියෙන් විස්තර කරල තියෙන්නෙ. හරිම සරල ක්‍රම ටිකක් ලොකු වෙලාවක්, මහන්සියක් හෝ මුදලක් වැය වෙන්නෙ නැහැ. ඔයාලත් උත්සාහ කරල බලන්න. 

☆ අපි ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්න කෙටි කෑම, එහෙමත් නැත්නම් ගොඩක් සැකසූ fast food නිසා අපේ කෑම බීම පරිසරයත් එක්ක තියෙන බැදීම ගැන අපේ දරුවන් තුළ ඇති අවබෝධය සම්පූර්ණයෙන්ම වගේ ගිලිහිලා ගිහින් තියෙන්නේ. ඉතින් එයාලට මේ අවබෝධය ලබා දෙන එක, එයාල පරිසරයේ කොටසක් විධියට හිතන්න පුරුදු කරන එක හරිම වැදගත්. අපේ කෑම මේසෙ උඩ තියෙන මේ රසවත් කෑම අපේ ගොවි මහත්වරු හරිම මහන්සියෙන් වවලා, ඒවා පසෙන් සාරය උරාගෙන හෙමින් හෙමින් වැවිලා අම්මාගේ තාත්තාගේ මහන්සියෙන් තවත්  රසවත් වෙලා මේසෙට ආව හැටි දරැවන්ට හෙමින් කියලා දෙන්න.  


☆ ඊලග පියවර විදිහට අපිට පුළුවන් මේකෙන් "thank you game එකක්" නිර්මාණය කරන්න. අපිට පුළුවන් මේසෙ තියෙන කෑම වලට thank කරන්න පිලිවෙලට එකිනෙකාට අවස්ථාව ලබා දෙන්න. "මේ බත් උයන්න වී වවලා දුන්නු මාමට thank you!", "මේ කෙසෙල් හැදෙන්න වැස්ස දුන්න වලාකුළු වලට thank you!" වගේ දේවල්. මේ සරල game එකත් එක්ක දරුව තමන්ට ලැබිලා තිබෙන දේවල් ගැන සතුටු වෙන්න, ඒ දේවල් වලට ස්තුති වන්ත වෙන්න පුරුදු වෙනවා වගේම නිර්මාණශීලී විදිහට හිතන්නත් පුරුදු වෙනවා. 


☆ දරුවා වඩාත් ආදරය කරන සෙල්ලම් සතුන්, බෝනික්කන් වගේ අයවත් කෑම මේසෙට එකතු කරගන්න එක හරිම වැදගත්. මේකෙන් දරුවා සතුටු වෙනවා වගේම බෙදා හදා ගැනීම දරුවාට හුරු කරන්නත් පුළුවන් වෙනවා. 


☆ උදේ හෝ සවස තේ මේසෙට එලවලු පලතුරු වලින් happy face එකක් පිළියෙල කරන්නත් අමතක කරන්න එපා. හිනා කටක් හදන්න කෙසෙල්, කොණ්ඩය සදහා කැරට් තීරු,කන් දෙක සදහා ඇපල් පෙති වගේ නිර්මාණශීලී දේවල් උත්සාහ කරලා බලන්න. දරුවා ආස කරන තව වෙනත් දේවලුත් හදන්න පුළුවන්. දරුවා කැමතිනම් කෝච්චි, කාර් වගේ විවිධ දේවල් අත්හදා බලන්න. 


☆ ඔබේ රාත්‍රි කෑම මේසෙට විශේෂත්වයක් එකතු කරන්න පුළුවන් විදියක් තමයි ඉටිපන්දම්. විදුලි බුබුළු තරම් ආලෝකමත් නොවුනත් කුඩා දරුවන් ඉටිපන්දම් වලට හරිම කැමතියි. මේ පුන්චි වෙනස දරුවාගේ රෑ කෑම වෙලාව සුවිශේෂී එකක් කරයි. 


☆ අපේ ජීවිත වල කාර්යබහුලත්වයත් එක්ක අමාරු වුනත් හැකි හැම වෙලාවකදීම පවුලේ සියලු දෙනාම එකට ආහාර ගන්න උත්සාහ කරන්න. මේ වෙලාවෙදි දවසේ තමන්ට සිදු වුන හොදම දේ මොකක්ද කියල අනිත් අයට කියන්න හැම කෙනෙකුටම අවස්ථාවක් දෙන්න.  මුලින්ම දරුවන්ට අවස්ථාව දුන්නොත් ඒක ඔවුන්ට අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ මුලින්ම පටන් ගන්න. උදාහරණයක් විදිහට හිතන්න ඔබ නීතීඥවරියක් කියලා. ඔබට කියන්න පුළුවන්, "අද මාව හම්බවෙන්න අලුත් client කෙනෙක් ආව. එයා හරිම විහිළුයි. එයත් එක්ක කතා කරලා මම ගොඩක් හිනාවුණා" කියලා. එතකොට දරුවත් එයාගෙ කතාවක් ලස්සනට කියයි. 


☆ වැඩි විය පත් වුන දරුවො ඉන්න ගොඩක් දෙමාපියො කරන චෝදනාවක් තමයි, දරුවො දෙමාපියන් එක්ක තොරතුරු, අදහස් හුවමාරු කර ගන්නෙ හරිම අඩුවෙන් කියලා. ඉතින් කලින් කිව්ව වගේ කුඩා දරුවන් එක්ක දිනපතා සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන් නම් කාලයත් එක්ක මේක පවුලේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් වෙනවා. ඔවුන් වැඩි විය පත් වුණාමත් ඒ පුරුද්ද දිගටම ඒ විදිහටම නොවෙනස්ව තියෙයි.


☆ කෑම වෙලාව අවසාන කරන එකත් දරුවා අතින්ම කරන්න පුළුවන්.  හැමදාම ඉටිපන්දම නිවන්න දරුවට භාර දෙන්න. පෞද්ගලිකව මගේ දරුවන් සමග සහ මගේ ලමා කාලයේ අත්දැකීම් සලකා බැලුවමත් මට දැනෙන්නේ ඉටිපන්දම් හරිම ආකර්ෂණීය, magical දෙයක් විදිහට. 


මේ සරල ක්‍රම ටික ඔයාලත් ගෙදර පොඩිත්තෝ එක්ක අත්හදා බලන්න. ඔයාටත් කලින් පොඩිත්තෝ කෑම මේසෙට ඇවිත් ඉදීවි. 😊


Comments

Popular posts from this blog

බබාගේ උපන්දින සාදය සැලසුම් කරමු

පොඩ්ඩගේ උපන් දිනේට කරන්න දේවල් 6ක්

දරුවා නිදාගන්න රටාව පවත්වා ගන්න සරල උපදෙස් ටිකක්