පොඩ්ඩො එක්ක ප්‍රීතිමත් සති අන්තයක් සැලසුම් කරමු


කෑම වෙලාව, නිදන වෙලාව වගේ දරුවන්ගේ දවසේ කටයුතු නියමිත රටාවකට කරගෙන යන්නෙ කොහොමද කියල අපි පහුගිය ලිපි වලින් සාකච්ඡා කලා. ඔයාලට අවශ්‍යනම් ඒවා මෙතනින් බලන්න පුළුවන්. 


දරුවා කෑම මේසෙට ගෙන්න ගන්න මැජික් ටිකක් 

දරුවා නිදාගන්න රටාව හදාගන්න උපදෙස් ටිකක් 


දවසේ කටයුතු විතරක් නෙමෙයි, සති අන්තයත් ඒ වගේම විනෝද ජනක විදිහට සහ රටාවකට අනුව හැඩගස්වා ගන්න අපිට පුළුවන්. මේ ලිපියෙන් මම සාකච්ඡා කරල තියෙන්නෙ පොඩ්ඩොත් එක්ක ප්‍රීතිමත් සති අන්තයක් ගතකරන්න අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක්. 


අද ලෝකයේ හැම රටකම වගේ දෙමාපියන් ගතකරන්නේ  හරිම කාර්ය බහුල ජීවිතයක්. කොහොම වුනත් මේ කාර්යබහුලත්වයත් එක්ක වුනත්, අඩුම තරමින් සති අන්තයේ දවසක් හරි දෙකක් හරි පවුල සමඟ දරුවන් සමඟ ගතකරන්න අපිට පුළුවන්. ඒ වගේම මේ නිවාඩු දවස් හරිම විවේකීව, නිදහස් විදිහට කාල සටහනකින් තොරව ගතකරන්නත් වගබලා ගන්න ඕන. 


ගොඩක් දෙනෙක් හිතනවා මේ වගේ දවස් නිවසින් පිටත ගත කරන එක දරුවන්ට ලොකු සතුටක් කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්නත් ඔවුන් මැලි වෙන්නේ නෑ. හැබැයි මේ ලිපියෙ සාකච්ඡා කරලා තියෙන ගොඩක් දේවල් උත්සාහ කරලා බලන්නනම් ලොකු මුදලක් වැය වෙන්නෙ නෑ. සතියේ දින පහක්ම පාසල් හරි පෙර පාසල් හරි යන දරුවෙක් නම් මේ වගේ නිවාඩු දවසකට ටිකක් වැඩියෙන් නිදාගන්න, සැහැල්ලු රාත්‍රි ඇදුම් පිටින් ටිකක් දවල් වෙනකන් ගතකරන්න, කොටින්ම කියනවා නම් "ටිකක් ඔහේ ඉන්න" කැමති වෙයි. ඔයාලත් ඔයාගේ සති අන්තය සැලසුම් කරන්න කලින් පොඩ්ඩන්ගේ කැමැත්ත මොකක්ද කියල හොයල බලන්නත් අමතක කරන්න එපා. 


☆ Baking day 

සතියටම ඕන වෙන බිස්කට්, කුකීස් පවුලේ හැමෝම එකතු වෙලා එයාල ආස හැඩ වලටම හදාගන්න මේ වගේ නිවාඩු දවසක් අපිට යොදා ගන්න පුළුවන්. 


☆ සොබා සිරි විදින්න දවසක් 

කෑම බීම කීපයක් පොඩි කාපට් එකක් වගේ දේවල් කිහිපයක් ඇතුළත් කරල දරුවට පොඩි බෑග් එකක් හදල දෙන්න. මේකත් අරගෙන පොඩ්ඩොත් එක්ක ලග තියෙන පාර්ක් එකකට, ලග තියෙන වෙලකට, ඔයාලට ටිකක් ලොකු වත්තක් තියෙනවානම් ඒකට උනත් යන්න පුළුවන්. ඔයාල යන පාර, විවේක ගන්න, කෑම කන්න  බලාපොරොත්තු වෙන තැන් වගේ දේවල් ඇතුළත් කරපු සරල සිතියමකුත් ඇද ගන්න පුළුවන්නම් පොඩ්ඩොන්ට මේක  adventure එකක් වෙයි.


☆ අත්කම් දවසක් 

දිය සායම් වගේ දේකින් ටිකක් ලොකු චිත්‍රයක් අදින්න, මැටි වලින් මොනවා හරි නිර්මාණ කරන්න පුළුවන්. අවුරුද්දේ උත්සව කාලයක් ලග එනව නම් ඊට අදාල සැරසිලි වෙසක් කූඩු, නත්තල් ගස් වගේ දේවල් හදන්නත් මේ දවස යොදාගන්න පුළුවන්. 


☆ ක්‍රීඩා දවසක්

බැඩ්මින්ටන්, කැරම්, චෙස්, කාඩ් සෙල්ලම්, බෝර්ඩ් සෙල්ලම් (නයි බෝර්ඩ්) වගේ දෙයක් පවුලේ හැමෝම එකතු වෙලා කරන්න පුළුවන්. ඒකත් පොඩ්ඩොන්ව ගොඩක් සතුටු කරන්න පුළුවන් ක්‍රමයක්. 


☆ පිරිසිඳු කරන දවසක් 

සතියේ පුරුද්දක් විදියට පිරිසිදු කරන්න දවසක් වෙන් කරගන්න එකේ වාසි ගොඩක් තියෙනවා. පවුලේ හැමෝම එකතු වෙලා ගෙදර වැඩ කටයුතු කිරීම තුළින් පවුලේ සමගිය, බැදීම වැඩි වෙනවා වගේම දරුවන්ට ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය කුසලතාත් වර්ධනය වෙනවා. ගෙදරත් පිරිසිදු වෙනවා 😊


☆ පුස්තකාල දවස

දරුවෝ ටිකක් තේරෙන වයසේ අය නම් එයාලව පුස්තකාලයකට එක්ක යන්නත් දවසක් වෙන් කරගන්න පුලුවන්. එදාට දරුවා කැමති විදියේ පොත් තෝරලා දෙන්න වගේම දරුවොත් එක්කම ගිහින් ඔයාලටත් පොත් තෝර ගන්න.  ඒක පොත් කියවන්න පුරුදු වෙන්න දරුවන්ට ආදර්ශයක් වෙයි. 


☆ outing දවසක් 

ගොඩක් දෙනෙක් හිතනවා පොඩ්ඩොත් එක්ක එලියට යනවනම් පොඩ්ඩන්ටම වෙන්වුණු සත්තු වත්තක්, ලමා ක්‍රීඩා උයනක් වගේ තැනකටම යන්න ඕන කියල. නමුත් එහෙම වෙන්නම ඕන නෑ. දරුවන්ට වගේම දෙමාපියන්ටත් සතුටක් ගෙන දෙන උද්භිද උද්‍යානයක්, මුහුදු වෙරළක්, කෞතුකාගාරයක්, චිත්‍ර ප්‍රදර්ශනයක්, සංගීත සංදර්ශනයක්, වේදිකා නාට්‍යයක් වගේ තැනක් තෝරගත්තට වරදක් නැහැ. මේ වගේ තැනකදි දරුවන්ට ඔවුන් විශේෂයි කියලා දැනෙන්න කෑම බීම පුරවපු බෑග් එකක්, එයාල ආස බෝනික්කෙක් වගේ සෙල්ලම් බඩුවක්, පොඩි බයිසිකලයක් වගේ දෙයක් අරගෙන යන්න පුළුවන්. 


☆ Treat දවසක් 

හිතන්න ඔයාගේ පොඩ්ඩගේ සමහර පුරුදු තියෙනවා, ඔයාලට අවශ්‍යයි ඒ දේවල් ටිකක් සීමා කරන්න. උදාහරණයක් විදිහට නිතරම රූපවාහිනී බලන එක, නිතරම චොකලට් කන එක වගේ දේවල්. ඔයාලට පුලුවන් මේ වගේ දේවල් වලින් විශේෂ දවසක් වෙන් කරගන්න. ඵදාට දරුවට කිසිම විරුද්ධත්වයක් නැතුව මේ දේවල් කරන්න ඉඩ දෙන්න. ඔයාලටත් පුළුවන්  මේ දේවල් වලට දරුවොත් එක්ක එකතු වෙන්න. ඒත් එක්කම දරුවාට තේරුම් කරල දෙන්න ඕන මේ දේවල් ලැබෙන්නේ treat දවසට විතරයි කියලා. හිතන්න දරුවා වෙනත් දවසක supermarket එකේදී චොකලට් ඉල්ලනවා කියලා. එතකොට ඔයාට මතක් කරල දෙන්න පුළුවන් ඒවා හම්බවෙන්න treat දවසට විතරයි කියලා. දරුවව පාලනය කරගන්නත් ඒක උදව්වක් වෙයි. 


මේ වගේ වෙනස් සහ විනෝදජනක විදිහට සති අන්තය සැලසුම් කරගන්න. සැලසුම් හදන්න කලින් දරුවගේ සහ පවුලේ අනිත් අයගේ සෞඛ්‍ය තත්ත්වය, කාලගුණ තත්ත්වය වගේ දේවල් ගැනත් සැලකිලිමත් වුනොත් ඔබේ සැලසුම් වඩා ප්‍රායෝගික වේවි. සැලසුම් කිරීමේදී දරුවගේ වයස, පෞද්ගලික රුචිකත්වය අනුව නම්‍යශීලී වීමත් වැදගත්.


Comments

Popular posts from this blog

බබාගේ උපන්දින සාදය සැලසුම් කරමු

පොඩ්ඩගේ උපන් දිනේට කරන්න දේවල් 6ක්

දරුවා නිදාගන්න රටාව පවත්වා ගන්න සරල උපදෙස් ටිකක්